ගී පද
පුතේ කියා තුන්තිස්පැය
හද සනහා පෙමිනේ
මෙතේ සිතින් නුඹ විතරයි
මගේ තනියට හිටියේ
ගතේ රුහිරු හිඟ විය
රස කිරි දී කුසගින්නේ
සතේ සතේ එක්කර
නුවණැස පාදා දුන්නේ
ඇසේ කඳුළකුදු නොතියා
රහසිනි නුඹ හැඬුවේ
බසේ වචන මදි නුඹේ ගුණ
කීමට මට අම්මේ
සෙවනැල්ලත් මා හැරගිය
අවා අන්ධ අඳුරේ
වැලපිල්ලත් අහිමි වුණා
මං වැරදුණ කතරේ
හසරැල්ලක් නො දැකම ආ
මේ දිගුදුර ගමනේ
සැනසිල්ලක් ඉතිරි වුණේ
නුඹේ පපුතුරෙ පමණේ
පෙම්මාදර තෙපුළක් නෑ
දැවටෙන්නේ සවනේ
නිම්මා නැති දුක් ගිනිමයි
ඇවිලෙන්නේ හැමතේ
වැම්මෙයි කඳුළැලි දෑසින්
සාගර දිය කඳ සේ
සාගර දිය කඳ සේ
අම්මේ මා මිය ඇදුණා
නුඹේ මරණය දවසේ
අම්මේ මා මිය ඇදුණා
නුඹේ මරණය දවසේ
***********************************